හිරාන් ප්‍රියංකර ජයසිංහ
අලි කරදයට විසඳුමක් ලෙස අලින් බෝවීම වැළැක්වීමට අලින්ට වඳ සැත්කම් කිරීමට ක්‍රමයක් නැතිදැයි පුත්තලම කිවුල අංක හතර ප්‍රදේශයේ කාන්තාවක් පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂවරයාගෙන් අද විමසීමක් කළාය.
පුත්තලම කිවුල ඇතුළු ගම්මාන ගණනාවක ජනතාව තම ගම්මාන වලට කඩා වදින වල් අලි පලවා හරින ලෙස ඉල්ලා පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂක කාර්යාලයට පැමිණි අවස්ථාවේ ඇය මෙම විමසීම කළාය.
කිවුල , දංගහවල , කන්දේයාය , හල්මිල්ලෑව , ගල්කුලම , බෝගහයාය ඇතුළු ගම්මාන නියෝජනය කරමින් 100 කට ආසන්න පිරිසක් ලොරි රථ සහ යතුරු පැදි වලින් වන ජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ තිබූ අතර එහිදි පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම් .කේ.එස් චන්ද්‍රරත්න මහතාට ලිපියක් භාර දෙමින් තමන් මේ වන විට පත්ව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කළහ.
‘‘අනේ සර් පසුගිය කාලයේ තිබුනේ පුංචි පවුල රත්තරන් කියලා අපේ ජාතිය අඩු කරන්න වඳ සැත්කම් කරපු ක්‍රමයට මේ අලි ටිකත් අල්ලලා වඳ කරන්න ක්‍රමයක් නැද්ද ?‘‘ යයි කාන්තාවක් ප්‍රශ්න කළාය. ඒ සමඟ පැමිණ සිටි පිරිස කොහඬ නඟමින් සිනාසුනහ.
මෙහිදී ජනතාව නැගූ චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් පුත්තලම සහකාර වන ජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස් චන්ද්‍රරත්න මහතා මෙසේ පැවසීය.
“මේ ප්‍රශ්නය අපි නොදන්නාවා නොවෙයි . නමුත් අපිට තිබෙන සම්පත් එක්ක වැඩ කරන්න අමාරුයි . ඒ වුනාට අපි මේ කටයුත්ත නවතා දමන්නේ නැහැ. අපි 22 ඉදලා වල් අලි පලවා හරින්න කටයුතු කර තිබෙනවා. 22 දංගහවල පන්සලේ අපි කැම්ප් ගහලා නතර වෙලා මේ කටයුත්ත පටන් ගන්නවා.වාහන තුනක් දැනට යොදවන්න කටයුතු කර තිබෙනවා.
ඒ එක්කම සිවිල් ආරක්ෂක ඒකකයේ සහය ලබා ගෙන මෙහෙයුම් සාර්ථක කරන්න අපි සුදානම්. මම ඉල්ලා සිටිනවා මේ සියලු දෙනාගෙන් කරුණාකරලා අපිට සහාය දෙන්න කියලා. මොකද මේ සහයෝගය අලි පලවා හැරිමේදි වැදගත් නිසා‘‘ යැයි ඔහු පැවසීය.