අලි මැරුවොත් ජීවිතාන්තය දක්වා හිරේ


ඩයනා උදයංගනී
 
වන අලි ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියෙන් වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළ හැකි වන අයුරින් වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
 
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
 
 
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
එමෙන්ම වනජීවී රක්‍ෂිත තුළ සහ ඉන් බැහැර වනජීවී සම්පත්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය බලතල  වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත යටතේ වනජීවී නිලධාරීන් හා පොලිස් නිලධාරීන් වෙත පවරනු ලැබ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
      
මීට අමතරව අලි මිනිස් ගැටලූව ඇතුළුව වන සතුන් හා මිනිසුන් අතර වන ගැටුම් කළමනාකරණය හා බැදුණු රාජකාරීන්ද වනජීවී නිලධාරීන් වෙත පවරනු ලැබ ඇති බව ද අමාත්‍යවරයා කීවේය.
 
අලි මිනිස් ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස සෑම වසරකම වන අලි 240ක් පමණ මියයන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ස`දහන් කළේය.
 
 
දළ ඇතුන් ඇතුළුව අලි ගහනය හා අනෙකුත් වනජීවීන් ස්වභාවික වනාන්තර තුළදීම ආරක්‍ෂා කිරීම සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ආරක්‍ෂක හමුදාවල නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කාර්යසාධක බලකායක් ඇතිකර ‍ මුර සංචාර සිදුකිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට ද මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.