අල්ලස් සැකකරු ආර්එම්වී පරිශ්‍රයට ගෙන ගොස් විමර්ශන කිරීමට අවසර


(නිමන්ති රණසිංහ)

යතුරුපැදියක ලියාපදිංචි සහතිකය සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් දෙදහසක අල්ලස් මුදලක් ලබා දුන් සහ ඉල්ලූ බව කියන මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ තැරැව්කරුවකු අද(10) පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයට ගෙන ගොස් විමර්ශන සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට අවසර දුන්නේය.

අදාළ තැරැව්කරු සහ සිවිල් පුද්ගලයකු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබිණි.

මෙලෙස රිමාන්ඩ් කරනු ලැබ සිටිනුයේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ තැරැව්කරුවකු ලෙස සේවය කළ එහි හිටපු ආරක්ෂක නිලධාරියකු වූ කපුරුබණ්ඩාගේ දයානන්ද සහ අදාළ අල්ලස් මුදල පිරිනැමූ බව කියන සිවිල් පුද්ගලයා වූ ආසිරි ද සිල්වා යන අයය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ලද නිර්නාමික පැමිණීලිවලට අනුව මෙම වැටලීම සිදුකර අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව එම කොමිසම අධිකරණය වෙත දැනුම් දී තිබිණ.