අල්ලස් මුදල ගිල්ල පොලිස් ලොක්කා රිමාන්ඩ්


(සුජිත් හේවාජූලිගේ සහ ටෝනි කරුණානායක)

රුපියල් දහ දහසක අල්ලස් ගන්නා ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිවේරිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලබන අට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (30) නියම කළේය.

සැකකරු එදිනට කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර නිලධාරිනට නියම කළේය.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා වැලිවේරිය පොලිසිය ආසන්නයේ දී රුපියල් 10000ක අල්ලසක් ගනිද්දී  අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගන්නවාත් සමග සැකකරු එම මුදල ගිලදැමූ බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේය.

එම මුදල් ආපසු ගැනීම සඳහා දැනට ගම්පහ රෝහලට ඇතුළත් කර සිටින බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. මහේස්ත්‍රාත්වරයා ගම්පහ රෝහලට ගොස් සැකකරු නිරීක්ෂණය කර රිමාන්ඩ් බාරයට පත් කළේය.