(නිමන්ති රණසිංහ)
ලොරි රථයක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ඉන් රුපියල් 60000ක් මුලින් ඉල්ලූ බව කියන සිද්ධියකට අදාළ දැරණීයගල පොලීසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(23) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ මල් කොටුව, බුලත්කොහුපිටිය පදිංචි දැරණීයගල පොලීසියට අනියුක්තව අධිකරණ අංශයේ රාජකාරි කළ පො. කො. 88213 මාරසිංහ පේඩිගේ පියල් වීරවංශ නමැත්තාය.
තමාට අයත් අංක ඩබ්ලිව් පී එල් අයි 6152 දරන ලොරි රථයේ එන්ජින් අංකය සහ චැසි අංකය ව්‍යාජ බවට දැරණීයගල පොලීසියේ නිලධාරීන් වෙත පෙත්සමක් ලැබී ඇති බවට පවසා ලොරි රථය අත් අඩංගුවට නොගන සිටීමට සහ නිති මගින් කටයුතු නොකර සිටීමට මෙම අල්ලස් මුදල ඉල්ලූ බවට සදහන් කරමින් සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ වැලිහිද ජනපදය, කෙහෙල්වල ලිපිනයෙහි පදිංචි ඉන්දික ප‍්‍රදිප් බණ්ඩාර නමැති ව්‍යාපාරිකයකු විසිනි.

