මනෝප‍්‍රිය ගුණසේකර
විදේශ රැකියා නියෝජිත ආයතනයකට වාර්ෂික වෙළඳ බලපත‍්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය සමත් වාර්තාව කඩිනමින් යැවීමට රුපියල් 5,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට චෝදනා ලැබ සිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ස්ථාන බාර නිලධාරීවරයෙකු විත්ති වාචකය කැඳවීමකින් තොරවම කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුගේ නම කුමක්ද යන්න දැනගත්තේද මෙම අධිකරණයේ සාක්කි දීමට පැමිණි අවස්ථාවේදී බව පැමිණිලිකරු සාක්කි දෙමින් පිළිගත් තත්වයක් යටතේ විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු ආකාරයකින් ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචකය නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ස්ථාන බාර නිලධාරීවරයෙකු ලෙස සේවය කළ වීරකැටිය කටුවැව පදිංචි ඉන්දීර වික‍්‍රමසිංහ මහතාය.
2009 මාර්තු මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක සම්සුදීන් මොහොමඩ් හිපාස් නමැත්තාගෙන් රුපියල් රුපියල් 5,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා තිබිණි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත්වු අතර එහිදී සාක්කි දුන් මෙම නඩුවේ ප‍්‍රධානම සාක්කිකරු වන පැමිණිලිකරු සාක්කි දෙමින් විත්තිකරුගේ නම කුමක්ද යන්න දැනගත්තේද මෙම අධිකරණයේ සාක්කි දීමට පැමිණි අවස්ථාවේදී බව දිව්රුම් පිට සාක්කි දෙමින් පැවසීය.
පැමිණිල්ලේ සාක්කි විභාග කිරීම අවසන් වු පසු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ පැමිණිලිකරුවන්ගේ සාක්කි අතර පරස්පරතා 15ක් ඇති බවත් එම පරස්පරතා නඩුවේ හරයටම බලපාන බවත් පෙන්වා දුන්නේය. සාක්කිකරුවන්ගේ සාක්කි එකිනෙක පරස්පර බවත් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු ආකාරයකින් ඔප්පු කොට නොමැති බවත් පෙන්වා දුන් නීතීඥ දර්ශන කුරුප්පු මහතා එම තත්වය යටතේ විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරවම විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්ති වාචකය නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
අල්ලස් චෝදනා එල්ල වූ විදේශ සේවා නිලධාරියා නිදහස්
Recommended Articles