අල්ලස් ගත්ත‘යි නිවාස අධිකාරියේ සැළසුම් නිලධාරියෙක් සැකපිට


(මනෝප‍්‍රිය ගුණසේකර)

නිවාස සැළසුමක් සැළසුම් කමිටුවට ඉදිරිපත් කර  අනුමැතිය ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 40,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 15,000/-ක් ලබා ගන්නා අවස්ථාවේදී නිවාස සංවර්ධන අධිකාරීයේ සැළසුම් නිලධාරීයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04)  අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බත්තරමුල්ල නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලය තුළ සිදුකළ වැටලීමකදී අවිස්සාවේල්ල ප‍්‍රදේශය බාර සැළසුම් නිලධාරීයා ලෙස කටයුතු කළ සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහුගේ නිවස සැදීම සඳහා නිවාස සැළසුමට අනුමැතිය ලබාගැනීමට නිවාස සංවර්ධන අධිකාරීයේ ගොනුවක් විවෘත කරවාගෙන ඇති බවත් ඒ අවස්ථාවේදී එහි සිටි නිලධාරීයෙකු අවිස්සාවේල්ල ප‍්‍රදේශය බාර සැළසුම් නිලධාරීයා ලෙස කටයුතු කළ සැකකරු පෙන්වා ඔහු ලවා එය කරවා ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් ඒ අනුව පැමිණිලිකරු සැකකරු ලවා නිවාස සැළසුමක් අන්දවාගෙන ඇති බවත් වාර්තා වේ.

ඉන් අනතුරුව අදාළ නිවාස සැළසුම, සැළසුම් කමිටුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාදීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් 40,000/-ක අල්ලසක් ඉල්ලා ඇතැයිද මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී ඉල්ලූ අල්ලසින් රුපියල් 15,000/-ක් ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

සැකකරු අද (05)  අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ උසස් නිලධාරීයෙකු පැවසීය.