අල්ලස් ගත්තැයි අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයාට ඇප


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කුලියාපිටිය මුලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්‍ය රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (22) නියම කළේය.
 

විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහි අධිචෝදනා පත‍්‍රය බාරදීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 05 බැගින් වන ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත ඔහු මුදාහැරීමට විනිසුරු මඩුල්ල නියම කළහ.
 
මෙම ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කොළඹ වාණිජ මහාධිකරණයේ කටයුතු කරන ආර්. ගුරුසිංහ, කොළඹ මහාධිකරණයේ කටයුතු කරන ශෂි මහෙන්ද්‍රන් සහ මීගමුව මහාධිකරණයේ කටයුතු කරන අමල් රණරාජා යන මහත්වරු කටයුතු කරති. 
 
2016 ජුනි මස පළමුවැනිදාත් අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලයේ කුලියාපිටිය මුලික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී එම රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ‘සත්සුව රසායනාගාර’යට ලබාදීම ස`දහා එම රසායනාගාරයේ හිමිකරු වන අතුල රත්නසිරි මහතාගෙන් මාස්පතා රුපියල් 25,000/-බැගින් අල්ලස් ඉල්ලා ඉන් රුපියල් නිරෝෂන් නිකුලස් නමැත්තා මඟින් රුපියල් 75,000/-ක අල්ලසක් ලබා ගත් බවට විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා ඇත.
 
විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහි නඩුවේදී නඩු භාන්ඩ හා ලේඛණ 28ක් ඉදිරිපත් කරන බවද පැමිණිල්ල වෙනුවෙන් සාක්කිදීම සදහා කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සහ වෛද්‍යවරුන් ඇතුථ සාක්කිකරුවන් 25 දෙනෙකු කැදවීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.  නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම නඩුව වශ්‍යයෙන් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරු වන කුලියාපිටිය මුලික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ විශේඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල මහතා අධිකරණයෙන් නිකුත් කොට තිබු සිතාසියට අනුව මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේය.
 
ඒ අවස්ථාවේදී අධිකරණයේ නියෝග මත විත්තිකරුට එරෙහි අධිචෝදනා පත‍්‍රය විවෘත අධිකරණයේදී විත්තිකරුට බාරදුන්නේය.විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියට අනුව මෙම අධිකරනයේ පෙනී සිටි තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
 
තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති නඩු භාණ්ඩ ලැයිස්තුවේ සදහන් සී.ඞී. පට ඇතුළු ඇතැම් ලේඛන තමන්ට බාරදී නොමැති හෙයින් එම ලේඛණ බාර දීමට නියම කරන්නැයි පැමිණිලි පාර්ශවයට නියම කරන්නැයි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඉල්ලා සිටියේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට ඇප නියම කළ විනිසුරු මඩුල්ල ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක් පැනවීය.
 
මෙම පැමිණිල්ල ලබන 27 වැනිදා යළි කැදවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතී දිස්නා ගුරුසිංහ මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා පෙනී සිටියේය.