අල්ලස් ගත් සැරයන්ට වසර 24ක සිර දඬුවමක්


මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ 
 
රුපියල් 25,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 23,000/-ක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු කැකිරාව පොලිසියේ සැරයන්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
 
අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් ළඟ තිබු භාන්ඩ සම්බන්ධ පුරාවිද්‍යා වාර්තාව කඩිනමින් ලබාදීම සඳහා මෙම අල්ලස ඉල්ලා ඇතැයි නඩුවේදී කියැවිණි.
 
සිරදඬුවමට අමතරව රුපියල් 30,000/-ක දඩයක්ද අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 23,000/-ක මුදල දණ්ඩනයක් වශයෙන්ද අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා දඩ මුදල් සහ දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
 
පොලිසියේ ඉහළ සිට පහළට සිටින මෙවැනි දූෂිතයින් නිසා පොලිසියේ කීර්තීනාමය කෙළසී ඇතැයිද පොලිස් නිලධාරීන් අල්ලසින් ඈත් කර තැබිය හැකි ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි ද අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් අදාළ දඬුවම් නියම කළ විනිසුරුවයා විත්තිකරුට නියම කළ වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 04ක කාලයකින් ගෙවී යන ආකාරයට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.