අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්


(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)
 
අල්ලස් මුදලක් ලබා ගත් බවට සැක පිට අත් අඩංගුවට ගත් දෙයියන්දර ජාතික පාසලේ විදුහල්පතිවරයා ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස දෙයියන්දර මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්තී මහත්මිය නියෝග කළාය.
 
06 වැනි ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීම සදහා මවකගෙන් රුපියල් අට දහසක මුදලක් ගනිද්දි ඊයේ  මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත්තේය.
 
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මාතර නාදුගල වටගෙදර පදිංචි  ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.අමරසේන නැමැති විදුහල්පතිවරයෙකි.
 
ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) එම පාසලේ දී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබීය.
ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු  රාත්‍රි 11.00 පමණ සැකකාර විදුහල්පතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
 
ඒ අනුව රිමාන්ඩ් භාරයට පත් කළ ඔහු ලබන 19 වැනිදා කොළඹ අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියම කළාය.