අල්ලස් ගත් බස්නාහිර ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුට සිරදඬුවම්



(මනෝප‍්‍රිය ගූණසේකර)
 
මාර්ග ප‍්‍රවාහන බලපත‍්‍රයක් ලබාදීම සඳහා බස් හිමියකුගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වු බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත  වසර 40ක සිරදඬුවමක් සහ රුපියල් 40,000/-ක දඩයක් නියම කළේය.


මෙම සිදුවීමෙන් බස්රථයේ හිමිකරුට සිදුවු පාඩුව වෙනුවෙන් ඔහුට රුපියල් ලක්‍ෂ පහක වන්දියක් ගෙවීමට ද අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 19,000/-ක මුදල දඩයක් ලෙස ගෙවීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ බරපතල වැඩ සහිත වසර 40ක සිරදඬුවම් කාලය වසර 5ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.


චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකු  ලෙස  සේවය  කළ  රාජා අජිත් රංජිත් මහතාටය.


2015 ඔක්තොබර් මස 12 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කොළඹ දී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරු ලෙස සේවය කරමින් සිටියදී 418/01/400 දරණ මාර්ග ප‍්‍රවාහන බලපත‍්‍රයක් ලබාදීම සඳහා රුපියල් විසිදහසක් ඉල්ලා අවස්ථා දෙකකදී රුපියල් 19,000/- ක් ලබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස්  කොමිසම  චෝදනා 8 ක් යටතේ නඩු පවරා තිබිණි.


ඒ අනුව අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ දඩ, දණ්ඩන හා වන්දි මුදල් නොගෙවුව හොත් අමතර වසර 12 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.