(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරොන්තුඩුව පොලිසියේ අධිකරණ කටයුතු බාරව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු පානදුර අධිකරණ පරිශ්‍රය තුළදී රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අද (5) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට මොරොන්තුඩුව ප්‍රදේශයෙන් ලැබුණු ඉඩමක දේවාලයක් ඉදි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියදී කුඹුරු ඉඩමක් ගොඩ කරන බවට මොරොන්තුඩුව ගොවිජන සේවා නිලධාරියෙකුගෙන් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව එහි සිටි පිරිස කැබ් රථයක් සහ ඉඩම ගොඩ කිරීමට රැගෙන ආ උපකරණ තොගයක් සමඟ මොරොන්තුඩුව පොලිසියේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිසි අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති අතර කැබ් රථය පැමිණිලිකරුට මුදා හරිනවාට විරුද්ධ නොවී සිටින බව පවසමින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පැමිණිලිකරුගෙන් රුපියල් 20,000 ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.
ඒ පිළිබඳව පැමිණිලිකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා එකි මුදලින් රුපියල් 10,000 මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

