අල්ලස් ගත් කොස්තාපල් වසර 2ක් හිරේට


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ඖෂධ පනත යටතේ ලියාපදිංචි භාණ්ඩ අවසර පත‍්‍රයේ මුල් පිටපත නොමැතිව ඡායා පිටපතකින් ගෙන යෑමට අවසර ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මට්ටක්කුලිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (19) නියම කළේය.
 

විත්තිකරුට නියම කළ සිරදඩුවමට අමතරව රුපියල් 50,000 ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවුවහොත් මාස 18 ක සිරදඩුවමකටද ඔහු යටත් කළේය.
 
විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.
 
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ මට්ටක්කුලිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල් ලියනගේ ශාන්තප‍්‍රිය විජේසුරිය නමැත්තාටය.
 
2011 ජුනි මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මට්ටක්කුලිය කදිරාන පොලිස් මාර්ග බාධකයේදී වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයේ යොදවා සිටියදී ඖෂධ පනත යටතේ ලියාපදිංචි භාණ්ඩ රැගෙන යෑමට අවශ්‍ය අවසර පත‍්‍රයේ මුල් පිටපත නොමැතිව ඡායා පිටපතකින් ගෙන යෑමට අවසර ලබාදීම සදහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා අටක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
 
මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා අටෙන් 6 ක්ම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්  6 න් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
 
ඉතිරි චෝදනා 2 ක පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන් දෙකට ඔහු වරදකරු කළේය.
 
එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.