අල්ලස් කොමිසමෙන් දූෂණ විරෝධී ප්‍රචාරක වැඩපිළිවෙළක්


බිඟුන් මේනක ගමගේ
 
දූෂණවිරෝධී සංස්කෘතිය වර්ධනය කෙරෙන පරිදි මහජනතාව දැනුම්වත් කිරීමේ ප්‍රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.
 
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සන්නිවේදනය වන පරිදි මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරෙන්නේ යැයි ද ලොව දූෂණවිරෝධී සංස්කෘතිය ඔස්සේ සංවර්ධනය අත්පත් කරගත් රටවල් හා ඔවුන් ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේද ගැන එමගින් කියාදෙන්නේ යැයි ද එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවැසීය.
 
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සැලසුම් කර ඇති දූෂණ විරෝධී යාන්ත්‍රණයට මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 160 ක මුදලින් කොටසක් ඊට වෙන් කරන්නේ යැයි ද ජයමාන්න මහතා කීවේය.
 
අල්ලස් හා දූෂණය නිවාරණය මෙන්ම සමාජයට ඒ ගැන අධ්‍යාපනයක් ලබාදීම ද එකසේ වැදගත් යැයි ඊට හොඳම උදාහරණය හොංකොං රාජ්‍ය යැයි ද අවධාරණය කළ හෙතෙම සාධාරණ උපැයීම හා විනයගරුකභාවයේ වටිනාකම ගැන කුඩා කළ පටන්ම දරුවන්ට කියා දිය යුතු යැයි අවධාරණය කළේය.
 
දියුණු රටවලදී දූෂණවිරෝධයට  රාජ්‍ය අවධානය මෙන්ම සමාජ අවධානය ද නොඅඩුව ලැබෙන්නේ යැයි ද ලංකාව දූෂණවිරෝධී දර්ශකයේ ඉහළට ගෙනඒමට නම් එම වටිනාකම් මෙරට සමාජයට උරුම විය යුතු යැයි ද ජයමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ලොව දූෂණවිරෝධී දර්ශකයේ සිටින ආසියානු රටවල් අතර 6 වැනි ස්ථානය සිංගප්පූරුවට හිමිවෙද්දී පිළිවෙලින් මැලේසියාව 66, භූතානය 26, ජපානය 20, හොංකොං 13 යන ස්ථාන දරණ අතර ශ්‍රී ලංකාව සිටින්නේ 91 වැනි ස්ථානයේය.