අල්ලස් - දූෂණ විමර්ශන පනත සම්මත කරගන්නයි ජනපතිගෙන් ලිඛිත ඉල්ලීමක්


(නිමල කොඩිතුවක්කු)

කැබිනට් අනුමැතිය හිමිව ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභා සංශෝධිත පනත් කෙටුම්පත  සම්මත කරගැනීමට වහාම පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කතානායකවරයා වෙත ලිපියක් මගින් දැනුම් දීමට නියමිත බව  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කොළඹදී පැවසීය.

මහබැංකු වංචාවේ මුදල් අයකර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත සම්මත නොවීම බාධාවක් වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා කඩිනමින් පනත සංශෝධනය කර එම බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත ලබා දිය යුතු බවද සඳහන් කළේය.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එම සංශෝධිත  පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව බොහෝ කාලයක් ගතවී  තිබුණද පාර්ලිමේන්තුවේ එය සම්මත නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ජනාධිපතිවරයා එම පියවර ගෙන ඇතැයිද සමරසිංහ මහතා කියා සිටියේය.

මහබැංකු වංචාවේ වැරදිකරුවන්ට දඩුවම් දී එම මුදල් යළි අය කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහාය ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවද මහින්ද සමරසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.