අලවතුගොඩ සමන් දේවාලය හොරු කඩලා


(ෂේන් සෙනෙවිරත්න)

අලවතුගොඩ ඓතිහාසික සමන් දේවාලයේ දොරගුළු කඩා එහි තිබූ දේවාභරණ ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව අලවතුගොඩ පොලිසිය කියයි.

අලවතුගොඩ පොලිසිය පවසා සිටියේ එම දේවාලයේ දොරේ ආරක්ෂාවට යොදා තිබූ යකඩ පට්ටම කඩා සොරුන් ඇතුළු වී ඇති බවත් ඊයේ  රාත්‍රී 10.00ට සංචාරක පොලිස් නිලධාරීන් එහි ආරක්ෂක සටහන් පොතේ සටහන්ද යොදා ඇති බවත් එම වේලාවෙන් පසු සොරුන් ඇතුළු වී ඇති බව විශ්වාස කරන බවයි.

වළගම්බා රජ සමයට අයත් වසර 700 කට වඩා ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවාලය මීට පෙරද අවස්ථා ගණනාවකදී සොර සතුරන්ගේ ග්‍රහණයට පාත්‍ර විය .

අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ කුලතුංග බණ්ඩාර මහතා පවසා සිටියේ දේවාලයේ දේවාභරණ මෙන්ම කෞතුක භාණ්ඩ ද ඇතුළු දේවාලයේ පින් කැටය පවා කඩා එහි තිබූ මුදල් රැගෙන ගොස් ඇති බවයි .

දේවාලයේ දේවාභරණ සොරකම් කරගෙන ගොස් ඇති බැවින් දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම සම්බන්ධයෙන්ද ගැටලු උද්ගතව ඇති බවද බස්නායක නිලමේවරයා කියයි .