(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් හතරකට අද(21) අලුයම කිසියම් පිරිසක් පහර දී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ වලට 21 දින අලුයම මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ 4 කණුව ආසන්නයේදී බව කියයි.
මහමඟ රැදි සිටි පිරිසක් තම ටිපර් රථ වලට පහරදීම සිදුවූ බවත් ටිපර් රථ වලට පහර දුන් පිරිස් විසින් තමන්ටද පහරදීමට එයින් එළියට ඇද ගැනීමට උත්සහ කළ බව එහි රියදුරන් පොලිසියට පවසා තිබේ.
මෙයට පෙර 19 දින අලුයමද එම මාර්ගයේම මනතිව් ප්‍රදේශයේදී ටිපර් රථවලට ප්‍රහාරයක් එල්ල වි තිබු අතර ඒ සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු යුද හමුදාව හා පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
20 දින රාත්‍රියේ අරුවක්කාලු කසළ අංගනය වෙත කසළ ප්‍රවාහන සදහා කොළඹ සිට ටිපර් රථ 29 ක් පැමිණ තිබූ අතර එයින් හතරකට මෙසේ ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය සදහා පැමිණි පිරිස් ගල් හා යකඩ පොලු යොදා ගෙන තිබු බව රියදුරන් පවසයි. එම ප්‍රහාරයෙන් ටිපර් රථවලට සුළු අලාභ හානි සිදුව තිබු අතර පොලිසිය හා යුද හමුදාව ආරක්ෂාවට යොදවා තිබෙන බව පොලිසිය පවසයි.




