අරාබි ගල්ෆ් රටවල් ඉරානය ගැන සාකච්ඡා


ඇමෙරිකාවේ කෙණහිලිකම් මැද ඉරාන විසින් අවහිර කරනු ලැබූ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඕමානයේ දී පැවැත්විණි. ඒ, ඉරාකය සහ ගල්ෆ් රටවල සහභාගීත්වයෙනි. මෙම සාකච්ඡාව පැවැත්වීම සිදුවූයේ ඉරානයේ දැඩි ඉල්ලීම මත යැයි ද පැවැසෙයි.

ඇමෙරිකන් ප්‍රහාර හමුවේ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්බාධක හමුවේ, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මැදිහත් වී, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් මේවනවිටගෝලීය බලශක්ති සැපයුම් අඩපණ වී ඇත. 

තෙල් හා ගෑස් අපනයනය මත යැපෙනගල්ෆ් රටවල ආර්ථිකයට මෙය දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ද පැවැසෙයි.

ගල්ෆ් රටවල් ලෙස සැලකෙන්නේ පර්සියානු බොක්ක වටා පිහිටා ඇති රටවල්ය. මෙම රටවල් ගල්ෆ් සහයෝගිතා සංවිධානයේ සාමාජිකයන්ය. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, කුවේට්ය, ඕමානය සහ බහරේනය ඊට අයත් වෙයි.

කලාපීය රටවල් අතර අවබෝධය පුළුල් කිරීමට සහ පොදු කලාපීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

කලාපයේ ආරක්ෂාව බාහිර බලවේගවල (ඇමෙරිකාව) මැදිහත්වීමකින් තොරව කලාපීය රටවල් විසින්ම තහවුරු කළ යුතු බව ප්‍රකාශ කරන ඉරානය, ඔවුන්ට එරෙහි ප්‍රහාර සඳහා අසල්වැසි රටවල හෝ ඇමෙරිකා හමුදා කඳවුරු භාවිතා කර තිබියදීත්, අසල්වැසියන් සමඟ සාකච්ඡා කිරීමට යෑම සාධනීය ලක්ෂණයක් බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එසේ වුවත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අනතුරු ඇඟවීමක් කර ඇත්තේ, ඕමානය සමග අපේක්ෂිත එකඟතාවක් ඇති කර ගත්ත ද, එයින් මුහුදු සන්ධිය යළි විවෘත වීමක් සිදු නොවන බවය. 
මේ අතර, ගල්ෆ් සහයෝගිතා සංවිධානයේ සාමාජිකයකු වන බහරේනය මෙම සාකච්ඡාවට කිසිදු ලෙසකින් සහභාගී නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කළ දා සිට බහරේනය ඉරාන ප්‍රහාරවලින් දැඩි බලපෑම්වලට මුහුණ දී ඇති අතර, හෝමූස් මුහුදු සන්ධිය කිසිදු ගාස්තුවකින් හෝ බලපත්‍රයකින් තොරව විවෘත විය යුතු බව එරට රජය පවසයි. 

එපමණක් නොව, 2016 වසරේ සිට බහරේනය ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා කපා හැර ඇති බැවින්, එම සබඳතා යළි අලුත් වන තුරු ඉරානය සමඟ කිසිදු සාමූහික රැස්වීමකට එක් නොවන බව ඔවුන් අවධාරණය කර ඇත. මේවනතුරු ඉරාකය සහ අනෙකුත් ගල්ෆ් රටවල් මෙම සාකච්ඡාවට සහභාගී වන්නේ ද යන්න පිළිබඳව නිල ප්‍රතිචාරයක් දක්වා නැත.