අර්ජුන් මහේන්ද්‍රන්ගේ පාස්පෝට් නිදහස් කළේ කවුද?


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අර්ජුන් මහේන්ද්‍රයන්ගේ "පාස්පෝට් එක" 2017 වසරේ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස නිදහස් කළේ කවුදැයි රංග දිසානායක ප්‍රකාශ කළ යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.

මේවා ලොරියේ "බුදු සරණයි" කියා ගහගෙන මරන්න හරක් ගේනවා වගේ වැඩ යැයි ද මන්ත්‍රීවරයා කීය.

චාමර සම්පත් දසනායක මහතා මේ බව කීවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා වන විවාදය අමතමිනි.

චාමර සම්පත් දසනායක මහතා එහිදී මෙසේද කීය.

රංග දිසානායක මහත්තයාගේ නම කියලම මම මේ දේ කියනවා.රංග දිසානායක මහත්තයාට මම අභියෝගයක් කරනවා.ඒගොල්ලන්ගෙ ජේ.වී.පී එකේ නන්දන කියපු දේවල් අපිට වැඩක් නෑ.2017 අවුරුද්දේ මේ රටේ වෙච්ච ලොකුම හොරකම මොකක්ද?සිංගප්පූරුවේ ඉන්න අර්ජුන් මහේන්ද්‍රයන්ගේ බැංකු හොරකම තමයි ලොකුම හොරකම.

රංග දිසානායක මහත්තයා  දැන් මාධ්‍යයටත් එනවා. ඩී ජී හැටියට මාධ්‍යයට එන්නත් බෑ.මාධ්‍යයට ඇවිත් ලොකු සංදර්ශන දානවා.සංදර්ශන දැම්මට කමක් නෑ. 2017 කොටුව මහේස්ත්‍රාත් කවුද කියන එක කියන්න ඕන.එයා නෙමෙයි නම් කමක් නෑ.2017 අවුරුද්දේ කොටුව  මහේස්ත්‍රාත්වරයා හැටියට  අර්ජුන් මහේන්ද්‍රයන්ගේ පාස්පෝට් එක රිලීස් කලේ කවුද?එයා ඒක කියන්න ඕන. 

එයාගේ පළවෙනි නෝනා මහ බැංකුවේ.දෙවැනි නෝනත් මහා බැංකුවේ. දෙවැනි නෝනා අර්ජුන් මහේන්ද්‍රයන්ගේ මොන තනතුරද කළේ කියලත් කියන්න ඕන.මේව රටේ මිනිස්සු දැනගෙන ඉන්නන ඕන.

මේවා අනුරාධපුරේ ඉඳන් බුදු සරණයි කියලා ගහගෙන එන හරක් ලොරි වගේ.ලොරිය ඇරලා බැරුවම ඉන්නෙ මරන්න ගේන  හරක්. පිරිසුදු නම් හැම මිනිහම පිරිසිදුව ඇවිල්ල කතා කරන්න ඕන.
පිරිසිදුව තනතුරු දරන්න ඕන.අනිත් අයට ඇඟිල්ල දික් කරන්න කලින් තමන් පිරිසිදු වෙලා ඉන්න.

මගේ නඩු තුනක් තියෙනවා. මේක කිව්වට පස්සේ අනිවාර්යයෙන් මට ලබන මාසෙ අධි චෝදනා බාර දෙනවා. මට ඒක ප්‍රශ්නයක් නෑ. මේවා කවුරුත් දැනගන්න ඕන යනුවෙන්ද චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය.