අයිඑස්ලා ඉන්දියාවේ පළාතක් නම්කරති


ඉන්දියාව තුළ තමන් “පළාතක්” ස්ථාපිත කළේ යැයි අයි.එස්. සංවිධානය පළමු වරට නිවේදනය කර ඇත. 

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී සටන්කාමීන් සහ ආරක්ෂකයන් අතර ඇති වූ ගැටුමකින් පසුව අයි.එස්. සංවිධානය ඒ බව නිවේදනය කළේය. 

ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පසුව අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වන සටන්කාමියකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

අයි.එස්. සංවිධානයේ අමාක් පුවත් සේවය සිකුරාදා, එනම් ඊයේ (10) ඒ බව නිවේදනය කර තිබෙන අතර එම පළාත “විලායහ් ඔෆ් හින්ද්” යනුවෙන් නම් කර ඇත. 

කාශ්මීරයේ ෂොපියාන් දිස්ත්‍රික්කයේ අම්ෂිපෝරා නගරයේදී සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර එලෙස ගැටුම් ඇති වී තිබෙන අතර එම ගැටුම්වලින් තම සාමාජිකයන් තුවාල ලැබූ බව ද අයි.එස්. සංවිධානය සඳහන් කර ඇත.

ෂොපියාන් හි සිදුවූ ගැටුමකින් ඉෂාක් අහ්මද් සෝෆි නමැති සටන්කාමියකු මියගිය බව ඉන්දීය පොලිසියද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

ඉරාකයේ සහ සිරියාවේ සැතපුම් දහස් ගණනක භූමි ප්‍රදේශයක් පාලනය කළ අයි.එස්. සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ ‘කලිෆාවක්’ ද නම් කළේය. කෙසේ නමුත් මේ වනවිට අයි.එස්. සංවිධානය ඉරාකය සහ සිරියාවේදී දරුණු පරාජයකට මුහුණ දී සිටී.

එසේ පරාජය ලැබුවද අයි.එස්. සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාර ආදී නොයෙකුත් ප්‍රහාර එල්ල කරමින් තම බලය පෙන්වීමට උත්සාහ කරන අතර 253 දෙනකුට මරු කැඳවූ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ද බාරගත්තේය. 

 
නවදිල්ලියේදීය- ඉන්දියා (රොයිටර්ස්)
- 055