(හර්ෂණ තුෂාර සිල්වා)
දීර්ඝ කරන ලද ණය අරමුදලේ තෙවැනි වාරිකය ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.
ඉකුත් වසරේ ජූනි මාසයේදී මාස 36ක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට තීරණය කරන ලද අතර එහි පළමු වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ද දෙවැනි වාරිකය ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 167.2ක් පසුගිය ජූලි මාසයේදී ද ශ්‍රී ලංකාවට හිමිවිය. කාර්තු වශයෙන් කෙරෙන නිරීක්ෂණ යටතේ වාරික හයකදී සම්පූර්ණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.
තෙවැනි ණය වාරිකය ලබාදීම සලකා බැලීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ඉකුත් ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔවුන් සැපයූ වාර්තාව සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය ලබාදීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.
මෙම ණය මුදලත් සමඟ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා වෙත ලබාදී තිබෙන සම්පූර්ණ ණය මුදල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 760කි.
ශ්‍රී ලංකාවේ අයවැය හිඟය අඩු කළ යුතු බවත් බදු එකතු කිරීම් සහ විදේශ සංචිත තර කිරීම ද ඇතුළු ඒ සඳහා ඉහළ ප්‍රගතියක් අවශ්‍ය බවත් ණය මුදල මුදා හරින බව සඳහන් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ ඉහළ ණය බර සහ රාජ්‍ය ව්‍යවසායවල දුර්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල කරුණු පෙන්වා දී තිබෙන අතර මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ද අවධාරණය කර තිබේ. උද්ධමනය සහ ණය වර්ධනය ඉහළ තත්ත්වයක තිබෙන බව ද ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.

