( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පළාත් පාලන සීමා නීර්ණය කිරීමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් වශයෙන් කඩා වෙන් කිරීමට පියවර ගෙන ඇත්තේ පළාත් පාලන විෂයබාර අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුවක් විසින් සිදු කළ නිර්දේශවලට අනුව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.
සීමා නීර්ණය කිරිමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් වශයෙන් වෙන් කරමින් පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (08) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.
මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ , කේ.ටී.චිත්‍රසිරි සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
එම පංච පුද්ගල කමිටුවේ නිර්දේශයන් අධ්‍යයන කර කරුණු දැක්වීමට දිනයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් කල් ඉල්ලා සිටියේය.
ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි සලකා බැලීම ලබන 29 වැනි දිනට කල් තබන ලදී.

