අමුත්තන්ට කලින් ඩඩ්ලිට මල් මාලයක්


ඩඩ්ලි සේනානායක පිළිරුවට මල් මලා පැළැඳවීමට ආරාධිතයන් සැරසී සිටියදී එහි පැමිණි නාඳුනන පුද්ගලයෙක් ඉනිමග දිගේ පිළිරුවට නැඟ බෑගයකින් මල් මාලයක් ගෙන පලඳවා යන්නට ගියේය. බොරැල්ල කනත්ත වටරවුම ඉදිරිපිටදී මේ සිද්ධිය වූයේ සිකුරාදාය. ඩඩ්ලි සේනානායක මහතාගේ 39 වැනි ගුණසමුරුව එදිනට යෙදී තිබිණි. එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක හිටපු මන්ත්‍රීවරුන් වන රුක්මන් සේනානායක, ජිනදාස නියතපාල, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන ආරාධිතයන් ඉදිරිපිටදීය. උත්සව සභාව මෙහෙය වූ නිවේදකයා සියලු ආරාධිත අමුත්තන්ට ඩඩ්ලි සේනානායක පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සඳහා ආරාධනා කිරීමට සුදානම් වූ මොහොතේ ඇල්විටිගල මාවත ඔස්සේ පා පැදියක පැමිණි වයෝවෘද්ධ පුද්ගලයෙක් තම පාපැදිය නවතා වහා ඉන් බැස සේනානායක පිළිරුව අසලට දුව ගොස් ඉනිමඟ දිගේ එහි ඉහළටම නැඟ කුඩා බෑගයකින් ගෙන ආ අලංකාර මල් මාලය සේනානායක පිළිරුවට පලඳවා ඉන් බැස වැඳ ආචාර කැර යළිත් පා පැදියට නැඟී ගියේය. මෙය දුටු ආරාධිත අමුත්තෝ ඇතුළු රැස්ව සිටි අය තුෂ්නිම්භූත වූහ. ොඑහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධරයකු ඔහු හා කතා කළේය. එවිට ඔහු කීවේ, ‘අනේ සර් මම ඉන්නේ නාරාහේන්පිට. මම හුඟාක් ගරු කරන මහත්මයෙක් තමා ඩඩ්ලි මහත්තයා. මම අවුරුදු ගණනක් තිස්සේ සිට හැම අප්‍රේල් 13 වැනිදාටම උදේ පාන්දරම ඇවිල්ලා ඩඩ්ලි මහත්තායගෙ රූපෙට මල් මාලයක් දාලා වැඳලා යනවා‘ යනුවෙනි. ‘ඩඩ්ලි මහත්තයට හුඟක් ආදරේ කරන මනුස්සයෙක් වෙන්න ඇති. පවු අහංසකයා‘ යනුවෙන් ආරාධිතයෝද එකිනෙකාට කියාගත්හ.