(ආර්යරත්න රණබාහු)
අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජාතිකයෙකුගේ ආපනශාලාවකට කලහකාරී පිරිසක් සිදුකළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී මුජිබර් රහමන් මහතා නීතිය හා සාමය පිළිබඳ ඇමති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.
මෙම සිදුවීම බරපතල ලෙස ඔඩුදුවා පැතිර යාමට පෙර එය වැළැක්වීම ප්‍රදේශය භාර ආරක්ෂක අංශ ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් තම බලවත් කණගාටුව පළකරන බව කී මන්ත්‍රීවරයා ආරක්ෂක අංශ එසේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.
ප්‍රහාරයට ලක්වූ ස්ථාන දෙකම ආසන්නයේ අම්පාර පොලීසිය පිහිටා ඇති බවත් ගුවන් හමුදා කඳවුරක් ඉතා නුදුරින් පිහිටා ඇති බව කී මන්ත්‍රීවරයා ඒ අනුව එම අවස්ථාවේ ආරක්ෂක අංශ වල හැසිරීම ගැන සැක උපදින බවද කීය.
සංහිදියාව ඇති කිරීම චිත්‍රපට සෑදීම හෝ වේදිකා මත සිට දේශන පැවැත්වීමෙන් පමණක් කළ නොහැකි යැයි කී මන්ත්‍රීවරයා එය ප්‍රායෝගික අන්දමින් කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු යැයිද කීය.
2015 ජනවාරි 8 වැනිදා බලයට පත්වූ වත්මන් යහපාලන රජය බලයට පත්වීමට පෙර ජනතාවට පැවසූ දේවල් ඉටු කර නොමැති බවත් එම නිසා හොරකම දූෂණය වංචාව සම්බන්ධයෙන් කටයුතු කරනවා මෙන්ම ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා කළ යුතු කටයුතුද කරන මෙන් ජනාධිපති අගමැති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද මුජිබර් රහමන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදීය.