(නවත්න සමරතුංග)
අම්පාර උහන ගෝනගල කහ වගාකරුවන් අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ගෝනගල කෘෂිකාර්මික පලදායිතා ගම්මාන සමිතියේ සභාපති දයාරත්න බණ්ඩාර මහතා පවසයි.
මෙවර කහ අස්වනු ඉතා සරු මට්ටහමක පැවති නිසා ඇතැම් ගොවීන් අමු කහ කිලෝව රුපියල් 250 කට අලෙවි කර ඇති නමුත් අමුකහ තම්බා වියළීම සිදුකළ ගොවීන් විශාල පිරිසක් ඒවා අලෙවි කර ගැනීමට නොහැකිවී සිටින බවද පලදායිතා ගම්මාන සමුපකාර සමිතියේ සභාපතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේද පැවසීය.
‘‘කොරෝනා වසංගතයත් සමඟ ආණ්ඩුව කහ වලට මිල පාලනයක් දැම්මා. ඒ නිසා කහ වගාකරුවන්ට වියළි කහ අලෙවි කර ගන්න නොහැකි වුණා.
අමුකහ කිලෝ හයක් හෝ හතක් පමණ යොදා ගෙන වියළි කහ කිලෝ එකක් සකස් කරගන්න ඕනෑ. මෙම ගැටළුව නිසා ගොවීන් විශාල පිරිසක් අසීරුතාවයට පත්වී සිටිනවා.
විකුණා ගැනීමට නොහැකි වූ කහ කිලෝ 6000 ක් පමණ ගොවීන් සතුව තියෙනවා. ප්‍රමිතියට අනුව ඉතා පිරිසිදුව මේවා සකස්කර තියෙනවා. බාහිරව කිසිම දෙයක් කලවම් කරලා නැහැ. වෙළඳ පොළේ කහ හිඟයක් තියෙනවා. ඉන්දියාවෙන් කහ ආනයනය කරනවා. අපේ නිෂ්පාදන වල පිරි වැය දරා ගන්නනම් වියළි කහ කිලෝවක් රුපියල් 1600 කට වත් අලෙවි කළ යුතුයි.
විටින් විට පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් අම්පාරේ කහ වගා කරුවන් කබලෙන් ලිපට වැටී සිටිනවා. රජය විසින් මේ ගැන කඩිනම් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි ‘‘ යැයිද සභාපති දයාරත්න බණ්ඩාර මහතා පැවසීය.

