අමරේට තංගල්ලෙන් දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි


(මනෝප්‍රිය ගුණසේකර රන්ජන් කටුගම්පල)

2011 වසරේදී තංගල්ල කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවු ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තහවුරු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස මරණ දඬුවම තහවුරු කරනු ලැබුවේ ජී.ජී අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තා ගොනුකර තිබූ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

ජී.ජී අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තා ගොනුකර තිබූ විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.

තංගල්ල කටුවන ප්‍රදේශයේ 2011 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදි එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල කරන ලදැයි චෝදනා කරමින් නීතීපතිවරයා විත්තිකරුට එරෙහිව තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබු අතර නඩු විභාගයෙන් පසු 2024 නොවැම්බර් 20 වැනිදා චෝදනාවන්ට විත්තිකාර  ජුලම්පිටියේ අමරේ නැමැත්තා වරදකරු කරමින් ඔහුට මරණ දඩුවම පැණවීය.

තංගල්ල මහාධිකරණයේ තීන්දුවෙන් තමන් අගතියට පත්වී ඇතැයි සඳහන් කරමින් ජුලම්පිටිය අමරේ නැමැත්තා ඊට එරෙහිව අභියාචනාධිකරණයට  අභියාචන පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමෙන් පසු ජුලම්පිටිය අමරේ නැමැත්තා විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

විශේෂ අභියාචන පෙත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.