(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්නැයි නියෝගයක් ඉල්ලා ගොනු කළ නඩුවක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන 20 වැනි දා අධිකරණය හමුවේ උත්තර බදින්නැයි බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (05) නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන්ට මහසේත්‍රාත්වරයා මෙලෙස නියෝග කෙරිණි.
පෙත්සම සළකා බැලූ මනිලාල් වෛද්‍යතිලක සහ ඩී.එම් සමරකෝන් යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ.
බොරලැස්ගමුව නගර සභාවේ නගරාධිපති අරුණ ප්‍රියශාන්ත සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන අසංක ශ්‍රීනාත් විසින් මෙම අභියාචන පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කරුවන් මහාධිකරණ හමුවේ කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පත්වීම සඳහා එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය ලැබී නොමැති බැවින් ඔහුට එම ධුරය දැරීමට නීතියෙන් හැකියාවක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ තමන් නඩු පැවරූ බවය.
එම පෙත්සම සළකා බැලූ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු පිරිසකට මේ සම්බන්ධයෙන් ලබන 20 වැනි දා කරුණු දක්වන්නැයි නියෝග කර තිබේ.