
(තිළිණි ද සිල්වා)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි අවන්හලක ඉකුත් අගෝස්තු 31 වැනිදා ඇති වූ පිපිරීමකින් ලාංකිකයෙකු මියගොස් තවත් ලාංකිකයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව තහවුරු වී ඇතැයි අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙම පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අනතුරකට ලක් වී ඇති බවට තහවුරු නොකළ තොරතුරු ලැබී තිබිණි. මෙම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරුවල සත්‍යභාවය පරීක්ෂා කර තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් රෝහල වෙත ගොස් තොරතුරු සොයා බැලීමේදි මේ තොරතුරු තහවුරු වූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ වන විට මියගොස් සිටි අතර අනෙක් පුද්ගලයා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් කීය.
මේ සම්බන්ධයෙන් අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය එක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති කටයුතු පිළිබඳ බලධාරීන් හා රෝහල් බලධාරීන් සමඟ ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඉතා සමීපව කටයුතු කරමින් සිටින බවද අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේය.

