අබිරහස් මරණය ගැන තවදුරටත් පරීක්ෂණ


මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදුකරන බව පොලීසිය පවසයි.

පහළ වීරඹුව පදිංචිව සිටි ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ සිරුර කුලියාපිටිය පහළ වීරඟු‍‍ව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ගෙවත්තේ බුලත් කොටුවක තිබියදී ඊයේ (30) දහවල් සොයා ගත් අතර ඔහුගේ දෙපාවල බරපතළ කැපුම් තුවාල දකින්නට තිබූ බව පොලිසිය කියයිඔහුගේ සිරුර වැටී තිබූ ස්ථානයට නුදුරින් ලේ තැවරුණු පිහියක්ද තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක මුදලක් හැකරුන් අත්පත් කර ගැනීම සම්බන්ධ පරීක්ෂණ සඳහා රංග නිශාන්ත මහතාට අමතරව එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් තිදෙනකුගේ ද සේවය අත්හිටුවා තිබිණි. වැඩ තහනමට ලක්ව සිටින මෙම සහකාර අධ්‍යක්ෂවරයා ගෙවත්තේ බුලත් කොටුවක් පවත්වාගෙන යන අතර එහි සේවය සඳහා සේවකයන් ද යොදවා ගෙන සිට ඇත.ඔහු රාජකාරී කරන වකවානුවේ මෙන්ම වැඩ තහනමට ලක් වූ පසුද බුලත් කොටුවේ වැඩකටයුතු ගැන නිරන්තරයෙන් සොයා බලා ඇතැයි පොලිසිය කියයි.

රංග නිශාන්ත මහතා ඊයේ උදෑසන කාලයේ ද සුපුරුදු පරිදි නිවසේ තිබූ පිහියක් ද රැගෙන බුලත් කොටුවේ වැඩ කටයුතු සොයා බැලීමට යන බව නිවැසියන්ට දැනුම් දී ගොස් තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

රංග නිශාන්ත මහතා දෙපාවල ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු ඔහුට අයත් බුලත් කොටුවේ සේවයේ නිරතව සිටින පුද්ගලයන් කිහිප දෙනකු දැක ඒ බව නිවසේ අයට දැනුම් දීමෙන් පසු ඒ අවස්ථාවේ නිවසේ සිටි ඔහුගේ දියණිය එහි පැමිණ ඇතැයි පොලිසිය කියයි.

දියණිය එහි යන විටත් රංග මහතා මියගොස් සිට ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතා සහ කුලියාපිටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ (සොකෝ) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එල්. විජයතුංග මහතා ප්‍රධාන එම ඒකකයේ පොලිස් කණ්ඩායමක්ද එහි ගොස් විමර්ශන ආරම්භ කර ඇත.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී බාලසූරිය මහතා ද එහි ගොස් රංග මහතාගේ සිරුර පූර්ණ පරීක්ෂාවකට ලක් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මළ සිරුර කුලියාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගිය අතර එම පශ්චාත් මරණ පරීක්ෂණය අද (1) පැවැත්වීමට නියමිතය.

මියයන විට පනස් වැනි වියේ පසුව ඔහු දියණියන් දෙදෙනකුගේ පියෙකි.ඔහුගේ බිරිඳ පාසල් ගුරුවරියකි.

ඔහු පොලිසිය මඟහැර සිටි බවට පළ වූ ඇතැම් වාර්තා සාවද්‍ය බවත්, ප්‍රකාශ ලබා දීම සඳහා අප්‍රේල් මාසය තුළ කිහිප වතාවක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇති බවත් වාර්තා වේ.

මෙම පරීක්ෂණය සැකකටයුතු විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරුවක් සහ දත්ත මකා දැමීමක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මකා දැමූ දත්ත නැවත ලබා ගැනීමට කටයුතු කරමින් සිටින අතර, වැඩිදුර විද්‍යාත්මක විශ්ලේෂණයන් සඳහා ඔහුගේ නිවසේ තිබී ජංගම දුරකථන හතරක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, මෙම නිලධාරියාගේ මරණය දැනට පවතින පරීක්ෂණවලට දැඩි පසුබෑමක් බවයි. මන්දයත්, මෙම මූල්‍ය අක්‍රමිකතාවයට හේතු වූ විද්‍යුත් තැපැල් සන්නිවේදනයන් පිළිබඳ තොරතුරු දැන සිටි ප්‍රධාන පුද්ගලයා ඔහු වීමයි.

භාණ්ඩාගාර සිද්ධිය සම්බන්ධ ඉහළ පෙළේ තොරතුරු වසන් කිරීමක් සඳහා මෙම මරණය සිදු වූයේ ද යන්න පිළිබඳව මේ වන විට දැඩි සැකයක් සමාජයේ මතු වී ඇත.

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රංග නිශාන්ත නැමැති මොහු, භාණ්ඩාගාර මංකොල්ලය සම්බන්ධයෙන් මුලින්ම පොලිස් පැමිණිල්ලක් කළ පුද්ගලයා බවයි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත කුරුණෑගල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක කරුණාසිංහ කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී චන්දිමාල් විජේසිංහ (1) යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වති.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ (සොකෝ) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එල්. ජයතුංග උප පොලිස් පරීක්ෂක ප්රියන්ත පොලිස් සැරයන්වරුන් වන දයානන්ද (50392), වාසල (61131) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් සැරයන් දීප්ති (8978) ඇතුළු එම කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ද මෙම පරීක්‍ෂණවලට හවුල් වී සිටිති.

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ගම්පොළ සුරංග රාජනායක සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, දර්ශන සංජීව බාලසූරිය )