අපේ සංගීතය බෙරයක් වගේ සද්දෙ විතරයි ඇතුළ හිස් ...



නිමන්ත අද වන විට ඔබේ වැඩකටයුතු මොන වගේද?
සෞන්දර්ය සරසවියෙ කථිකාචාර්යවරයෙක් විදියට කටයුතු කරන අතරේ මගේ සංගීත ඇකඩමියේ වැඩ කටයුතුත් කරගෙන යනවා. ලංකාවේ හඬ පිළිබඳව ඉගැන්වීම සඳහා තියෙන තැන් හරිම දුලභයි. මේ නිසාම තමයි මේ වසරේ සිට උස්තාද්වරු පවා ගෙන්වන්න තීරණය කළේ.


”උස්තාද්වරයකු” කියන්නෙ මොනවගේ කෙනෙකුටද?
සමහර විට ලංකා සමාජයෙ ”ඔස්කාර්” කෙනෙක් කියලා කියන්නෙ උස්තාද් කෙනෙකුට වෙන්න ඇති. උස්තාද්වරයකු කියන්නෙ පරම්පරාවකින් බිහිවන කෙනෙක්. උස්තාද්වරයකු බිහිවීමට ක‍්‍රමවේදයක් තියෙනවා. එයා ඉස්ලාම් ආගමිකයෙක් හින්දු ආගමිකයන් අතරින් බිහිවන්නෙ පණ්ඩිත් කෙනෙක්.


උස්තාද්වරයෙකු කියන්නෙ සංගීතයෙහි බොහෝ දේ දන්නා කෙනෙකුටද?
පණ්ඩිත්වරයකු මෙන් උස්තාද්වරයකු කියන්නෙ සංගීතයේ බොහෝ දේ ප‍්‍රායෝගිකව බොහෝ සෙයින් ආභාෂය ලද කෙනෙක්. අපි ලංකාවේ පහතරට උඩරට නර්තන සම්ප‍්‍රදායට අයත් ගුරුන්නාන්සේ කෙනෙක් ගනිමු. ඒ වගේ පරම්පරාවකින් බොහෝ දේ ඉතාම හොඳින් ප‍්‍රගුණ කරලා එන කෙනෙක්.

 

හේෂාන්ගේ බිරිඳ අංජලී ...

 


ඒ කියන්නෙ උස්තාද්වරයකුට අධ්‍යාපනයක් නැද්ද? පරම්පරාවේ දේ පරිහරණය කිරීම පමණද කරන්නෙ?
ඉස්සර බොහෝ විට සිදුවුණේ එහෙමයි. උස්තාද් පරම්පරාවේ අය කුඩා කල සිට හුරු කළේ නැඹුරු කළේ සංගීතය කියන විෂය සඳහාම පමණයි. නිකම්ම නොවේ.
ප‍්‍රායෝගිකව අත්හදාබැලීම සඳහා කුඩා කල සිටම යොමු කළා. නමුත් වත්මන් පරම්පරාවේ අය අධ්‍යාපනය ලබන අතරේ පරම්පරාවේ මේ උරුමය ඉදිරියට ගෙන යනවා. ඒ අය කෙතරම් සංගීතයට ලැදිද යත්, දවස පුරා වසර පුරා ප‍්‍රායෝගිකව පුහුණුව ලබනවා.

 

  උස්තාද්වරයෙක්ගෙන් සිදුවන සේවය මොනවගේද?
ඉන්දියාවේ සංගීතය ඉතාම රසවත් වී තිබෙන්නෙ, මේ උස්තාද්වරුන්ගෙ පරපුරෙන් පැවත ආ සංගීතය නිසයි. ඉන්දියාවේ සංගීතය යනු ගීතයම නොවෙයි. කල්කටා වගේ නගරවාසීව ජීවත්වන තරුණියක් දීග යන විට පිරිමි පාර්ශ්වයේ අය ප‍්‍රධානව බලන දෙයක් වන්නෙ, තරුණිය සතුව සංගීත ඥානය, හැකියාව තිබේද කියලයි. සංගීතය එයාලගෙ ආධ්‍යාත්මය වගේම ලේත් එක්ක එන දෙයක්. ලංකාවේ බොහෝ විට සිදුවන්නෙ සරල සංගීතයෙන් පටන්ගෙන සරල සංගීතයෙන්ම හමාරවීමයි. නමුත් ඉන්දියාවේ බොහෝ විට සිදුවන්නෙ ශාස්ත‍්‍රීය පදනමෙන් පටන්ගෙන ශාස්ත‍්‍රීය නිමාවකින් එය හමාර කිරීමයි. වත්මනෙහි සිටින සෝනු නිගම් වගේම භාරතයේ මහා ගායිකා ලතා මංගේෂ්කාර් පවා එවැනි ආභාෂයක් ලබාගෙන ආ අයයි. ඒ වගේ ඉතා ශක්තිමත් අත්තිවාරමක් තියෙනවා. අපේ සංගීතය බොහෝ විට පහත රට බෙරයකට සමානයි. සද්දය විතරයි. ඇතුල හිස්. ඒ විතරක්ම නෙවෙයි. ඉන්දියාවේ සංගීත ක්ෂේත‍්‍රයේ කලාකරුවන් අතර ඔවුනොවුන් අතර තියෙන පිළිගැනීමද ඉහළයි.

හේෂාන්ගේ ගුරු ජී


ලංකාවට උස්තාද්වරයකු ආ පළමු වතාව මෙයද?
උස්තාද්, ශාකීර් හුසේන්, පණ්ඩිත් රවිශංකර් වැනි දැවැන්ත සංගීතඥයින් සහ චරිත පැමිණ තිබෙනවා. නමුත් ශිල්ප ලබාදීම සඳහා ලංකාවට උස්තාද්වරයකු ආ පළමු වතාව මෙයයි. රාගය මොකක්ද? ගායනා කරන්නෙ කොහොමද? ඒ සඳහා ඇතුළත් විය යුතු දේ කුමක්ද? ඒ සියල්ල උස්තාද්වරයකුගෙන් ප‍්‍රායෝගිකව දැන ගත හැකියි. මේ ආ උස්තාද්ගෙ ගුරුකුලය වන්නෙ ”කිරානා” යි. එයාගෙ නම උස්තාද් ඉර්ෂාඞ් වර්සායි. ඔහු සමග තබ්ලා අංශයේ විශාරදයකුත් පැමිණියා. නිෂාන්ට් ෂර්මා ඔහුගේ නමයි. අපි මේ විදියට මෙයාලා ආ බව ප‍්‍රචාරය කළත්, සරසවිවල සිටින සංගීතය හදාරණ අයගෙන් පවා ලැබුණෙ අඩු ප‍්‍රතිචාරයි. ඒ කියන්නෙ මෙයාලගෙන් ඉගෙන ගන්න පින නැහැ. අපේ රටේ බොහෝ විට සිද්ධ වෙන්නෙ, හැකියාව පෙන්වලා, ගීතයක් ගයලා, ඊළඟට එය සල්ලි උපයන මාර්ගයක් කර ගැනීමයි.


ඔබගෙ බිරිඳත් දැන් ලංකාවට ඇවිත් නේද? ඇය මොනවද කරන්නෙ?
”අංජලී මිශ‍්‍රා” මගේ බිරිඳ ආචාර්ය උපාධිය සඳහා තවම ඉන්දියාවේ ඉගෙන ගන්නවා. ඒ අතරේ ඇය ලංකාවට ආවා. මෙහේ සෞන්දර්ය සරසවියේ කථිකාචාර්යවරියක ලෙසත් කටයුතු කරනවා. පුතාලා දෙන්නා සහ අපි දෙන්නා සතුටින් ජීවිතය ගෙවනවා.