අපේ යාළු මාළුවෝ - 17


ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අල්ලා කොළඹට ගෙන එන මේ රතු පැහැති ගල් මාළු විශේෂය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාව අවට මුහුදෙන් පමණි.

ගල් මාළුවකු ලෙස පොදුවේ හඳුන්වමින් දීර්ඝ කාලයක සිට පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළෙහි අළෙවි වී මේ මාළුවා නිවැරදිව ලෝකයට හඳුන්වා දුන්නේ ද මාළු වෙළඳ සැළේ දී වීම විශේෂත්වයකි. 1970 මැයි මස 03 වැනි දින මෙරටට පැමිණි ටී. ඉවමොටෝ නම් මහත්මයකු මෙවැනි මාළුවකු දැක මිලදී ගෙන ඇත. එම මාළුවා පිළිබඳ පළමු වාර්තාව තබා ඇත්තේ ඔහු විසිනි. ඉන් අනතුරුව වසර 21ට පසු මෙරටට පැමිණි මත්ස්‍ය විද්‍යාඥයකුවන බෙරි රසල් මහතා 1991 සැප්තැම්බර් මස 27 වැනි දින එම ස්ථානයේ දී ම ඒ වර්ගයේ තවත් මාළුවකු මිලදී ගෙන ඇත.

ඔහු මේ මාළුවා පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේ ප්‍රතිඵලය වන්නේ පිටකොටුවේ දී කිලෝ ගණනට අළෙවි වන රතු පැහැති ගල් මාළුවා ලෝකයේ එතෙක් හඳුනානොගත් සත්ත්ව විශේෂයක් බව තහවුරු වීමයි. මේ විශේෂය ඔහු විසින් පැරස්කොලොප්සිස් කැපිටිනිස් Parascolopsis capitinis ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම් කරමින් 1996 දී පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කැර ඇත.

එදා පිටකොටුවේ මාළු වෙළඳ සැළෙහි අලෙවි කිරීමට තබා තිබූ මත්ස්‍යයා මේ වනවිට ලෝකයට නව මත්ස්‍ය විශේෂයක සම්මත ආදර්ශයක් ලෙස ඇමෙරිකාවේ ජාිතක කෞතුකාගාරයේ තැන්පත් කැර ඇත.

Parascolopsis capitinis