අපේ ජනබල පක්ෂය නඩු මගට


(විනීතා එම් ගමගේ)

අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳව මේ වනවිට පවතින ප්‍රශ්නය විසඳාගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (04) පෙත්සමක් ගොනු කළ බව එහි සභාපති සමන් පෙරේරා මහතා පැවැසීය.

අගෝස්තු හත්වැනිදා සිටි මේ දක්වා මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ කළ බවත් එය කරගැනීමට නොහැකි වූ බැවින් මෙසේ අධිකරණයේ පිහිට පතා සිටි බවත් හෙතෙම කියා සිටියේය.

ලබා දුන් ජනවරම අනුව මන්ත්‍රී ආසනය පිරවීමට මෙතෙක් නොහැකි වීම ගැන තමන් කණගාටු වන බවත් 67,878 දෙනෙකු ගේ බලාපොරොත්තු අහිමි වී ගොස් පක්ෂය අපකීර්තියට පත්ව ඇති බවත් සමන් පෙරේරා මහතා කීය.

සමන් පෙරේරා මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය සද්ධර්මරාජික විහාරයේ අද (04) පැවති මාධ්‍ය හමුවකදීය.

මේ ප්‍රශ්නය නීතිය ඉදිරියේ දී විසඳා ගැනීමට පක්ෂය ඒකමතිකව තිරණය කර සිටි බවත්  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් හා වේදිනිගම විමලතිස්ස හිමියන් ද, අතුරලියේ රතන හිමියන් ද නීතිපතිවරයා ද වගඋත්තරකරුවන් කරමින් එම පෙත්සම ඉදිරිපත් කළ බවත් සමන් පෙරේරා මහතා පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි මාස කිහිපය තුළ එම ගැටළුවට විසඳුම් ලබා දේ යැයි විශ්වාස කරන බව කී සභාපතිවරයා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එම මන්ත්‍රී ආසනය ලබා දෙන්නට පක්ෂය ගත් තීරණය ක්‍රියාත්මක කළ නොහැකි වූයේ වේදිනිගම විමලතිස්ස හිමියන් නිසා යැයි ද පැවැසීය.

මෙම මන්ත්‍රී අසුන ලබා ගැනීමට උපකාර ඉල්ලා අතුරලියේ රතන හිමියන් වේදිනිගම විමලතිස්ස හිමියන් සමඟ දේශපාලන බලවතුන් හමුවන බව තමන්ට සැලවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මේ වනවිටත් වේදිනිගම හිමියන් සිටින්නේ රතන හිමියන් භාරයේ යැයි තමන් හෙළි කරගෙන ඇතැයි ද මහනුවර අධිකරණයේ ඇති නඩුවක වේදිනිගම හිමියන් චූදිත වී සිටින්නේ යැයි ද පෙරේරා මහතා කීය.