අපරැක්කේ විදුහල්පතිවරයකු මාරු කළැයි මාපිය විරෝධය



(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ගයාන් දර්ශන)


අපරැක්ක මහ විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ස්ථාන මාරු කිරීමට විරෝධය දක්වමින් එහි සිසුන් මව්පියන් හා ආදී සිසුහු එක්ව අද (15) මාතර යටියන ප්‍රධාන මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයක නිරත වුහ.


උද්ඝෝෂණයකට  මිනිත්තු දහයකට පමණ පසු උද්ඝෝෂණයට සහභාගි වී සිටි අපරැක්ක ශ්‍රී මණිරතනාරාමාධිපති වේපතඉර ගුණරත්න නාහිමියන්ගේ මැදිහත්වීමෙන්  පාර අවහිර වීම නිසා මහජනතාවට සිදු වන හිරිහැර ගැන සලකා විරෝධතාකරුවෝ  පාර දෙපසට කර වාහන ගමනාගමනයට ඉඩ ලබා දුන්නේය.


විශේෂයෙන්ම තම පාසලේ දියුණුවට විශාල කැපකිරීමක් කළ වැඩබලන විදුහල්පති ලාල් අමරසිංහ මහතා තල්පාවිල මධ්‍ය මහ විද්‍යාලයට ස්ථාන මාරු කිරීම අසාධාරණ බවත් ඔහුගේ ස්ථාන මාරුව අවලංගු කර තවදුරටත් තම පාසලේ සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඔවුහු  අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.