අනුර දිසානායක ‘ඇමතිවරයා‘ යන්නෙහි අර්ථදැකීම ගැන නීති උපදෙස් සොයයි


( මුදිතා දයානන්ද)

අමාත්‍යවරයෙක් හා අමාත්‍යධුරයක් යන්න පිළිබඳව අර්ථදැක්වීමක් අවශ්‍ය වන බවත් මේ පිළිබඳව නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයෙන් 19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කර තිබේද යන්න පිළිබඳව සලකා බලා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා අද (22) පැලවත්තේදී පැවසීය.
‘‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ සඳහන් වන පරිදි ඇමතිවරු සංඛ්‍යාව 30 කටත් නියෝජ්‍ය ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව 40 කටත් සීමා විය යුතු වුවත් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ආණ්ඩුවක් හදනවාය යන පූර්ව අදහසක සිට එයට සංශෝධනයක් එකතු කළා ජාතික ආණ්ඩුවකදී ඇමැතිවරුන් සංඛ්‍යාව 48ට හා නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව 45ටත් වැඩිවිය යුතු බවට. මෙවර සිදුකන ලද කැබිනට් සංශෝධනයෙන් ඇමතිවරු සංඛ්‍යාවේ මෙම සීමාව ඉක්මවා ගොස් නැති වුවත් අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩිවී තිබෙනවා. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් ලබාදී නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනිමට බලාපොරොත්තු වන  වෙනවා‘‘ යැයි ද ඔහු සඳහන් කළේය.