(ඩයනා උදයංගනී)
දිවයින හරහා සහ වටා මුහුදු ප‍්‍රදේශවල අනිද්දා දක්වා (31) තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල පැයට කිලෝමීටර් 50 ත් 60ත් පමණ වේගවත් තද සුළං ඇති වන අතර බස්නාහිර, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 50ක පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඊට අමතරව මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් පමණ දක්වා ඉහළ යා හැකි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත‍්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ද විටින් විට පැයට කිලෝමීටර 50ක පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව එම ප‍්‍රකාශකයා කීවේය.
නිරිත දිග මෝසමේ බලපෑමෙන් මෙම සුළං ඇතිවන අතර ධීවර හා නාවික ප‍්‍රජාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් මද වැසි ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.