අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීමේ කෙටුම්පත පිළිබඳ නීතීපතිගේ කරුණු දැක්වීම හෙට


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පාළ )
 
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරැණු දැක්වීම හෙට (20) තෙක් කල් තැබීමට  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ නලින් පෙරේරා යන ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් සලකා බැලුනි.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් ඇතුළු පාර්ශව හතරක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.


පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් සාපරාධී කාරණු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල දී මෙරට සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු විදේශීය රාජ්‍යයන්ට සහ සංවිධානවලට ලබාදීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවයි.


ඒ හරහා මෙරට කටයුතුවලට මැදිහත්වීමට විදේශීය අධිකරණයන්ට සහ රාජ්‍යයන්ට හා සංවිධානය වලට  අවකාශ සැලසෙන බව සඳහන් කරන පෙත්සම්කරුවන්  ඒ හරහා මෙරට රණවිරුවන් දඩයමට ලක් වීමේ අවදානමක් පවතින බව ද කියා සිටියේය.


මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදු වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් එය  පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද  පෙත්සම්කරුවන්  අධිකරණයේන් ඉල්ලා  තිබේ.


අද දින පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම අවසන් කෙරුණු අතර නීතිපතිවරයාගේ කරුණු දැක්වෙන  බදාදා (20)  දිනට කල් තැබිණි.