අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මකදැයි මනෝ ගනේෂන් අවධානයෙන්


(සිරාජ් හසීම්)

ජාතීන් අතර අසමගියක් ගොඩනැගෙන ආකාරයේ ක්‍රියාවල නිරත අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව  නීතිය තදින්ම ක්‍රියාත්මක වීම පිළිබඳ තමා දැඩි අවධානයෙන් පසුවන බව ජාතික සහජීවන සංවාද  හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් තරාතීරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිසිය බාර අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී දෙන ලද පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටුවිය යුතු යැයිද ඔහු කීය.

සුළු ජාතීන්ට එරෙහිව සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දක්වමින් හෙතෙම මේ අදහස් පළකර සිටි අතර මෙය ජාතීන් අතරින් වෙන්වෙන්ව බැලිය නොහැකි ජාතික ප්‍රශ්නයක් යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

ජාතීන් අතර අසමගියක් ගොඩනැගීමට ඉඩ නොදීම තම අමාත්‍යංශයේද වගකීමක් බවත් ඇතැම් පටු දේශපාලන අදහස් දරණ අන්තවාදී කණ්ඩායම්වල ජාතිවාදය වැපිරීමේ ක්‍රියාවන්ට එරෙහිව ආගමික නායකයින් හා දේශපාලකයින් මුල්වී කටයුතු කළ යුතු බවත් එතුළින් මෙම ක්‍රියාවන් වළක්වා ගත හැකි බවත් ඔහු කීය.