රොමේෂ් මධුෂංඛ
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළොව හාරමින් සිටි ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය පවසයි.
මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ පිහිටි විශාල ගසක් මුල අදාළ ගුවන් හමුදා සෙබළුන් පිරිස විසින් පොළව හාරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන් විසින් විමසීමේදී පවසා ඇත්තේ කොටි සංවිධානය විසින් වල දමන ලද යුද උපකරණ සොයා කැණීමක් සිදු කරන බවයි.
නමුත් එම ස්ථානයේ පොලිස් නිලධාරීන් නොමැති වීම හේතුවෙන් ඒ බව මුලතිව් පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පැමිණි පොලිස් නිලධාරීන් අදාළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනා නිසි අවසරයකින් තොරව එහි කැණීම් සිදුකිරීම නිසා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සෙබළුන් පොලීසියට පවසා ඇත්තේ අදාළ ස්ථානයේ යුද උපකරණ තොගයක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථාන පරික්ෂා කළ බවයි.
නමුත් එසේ පරික්ෂා කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය බැවින් ඒ බව දන්වා අදාළ සෙබළුන් තිදෙනා අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය පවසයි.