අනවසර ඛනිජ කැණීම් සෙවීමට ජී.පී.එස් තාක්ෂණය



 
 
බිඟුන් මේනක ගමගේ 
 
නීතිවිරෝධී ඛනිජ කැණීම් හා ප්‍රවාහන කටයුතු සෙවීම සඳහා ජී.පී.එස් තාක්ෂණය යොදාගෙන නව යාන්ත්‍රණයක් සකසා ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
 
නීත්‍යනුකූල ලෙස ලබාදෙන බලපත් උපයෝගී කරගෙන සිදුකරන නීතිවිරෝධී කැණීම් හා ප්‍රවාහනය ඉහළ යාම සැළකිල්ලට ගෙන එම පිරිස් තාක්ෂණිකව නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල ආරම්භ කළේ යැයි එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
 
මෙසේ නීත්‍යනුකූල බලපත් මගින් සිදුවන අනවසර ක්‍රියා හේතුවෙන් බදු විශාල ප්‍රමාණයක් රජයට අහිමි වන බව කී හෙතෙම එය කාර්යාංශය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් යැයි  අවධාරණය කර කීය.
 
ජී.පී.එස් තාක්ෂණය භාවිතා කිරීමෙන් අදාළ ප්‍රවාහන රථවල ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමට කාර්යාංශයට හැකි යැයි ද මෙම අධීක්ෂණයට අවශ්‍යවන්නේ අවම සංඛ්‍යාවක් වීම එයින් ලැබෙන ප්‍රධාන වාසියක් යැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය.
 
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා මොබිටෙල් සමාගම සමඟ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අස්සන් කළ ගිවිසුමක් මගින් මෙම තාක්ෂණික ක්‍රමවේදය භාවිතයට ගැනෙන්නේ යැයි ද අධ්‍යක්ෂ සජ්ජන ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.