අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියලු කටයුතු අඩාලයි


(ගයාන් සූරියආරච්චි)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජල, විදුලිය, ඇතුළු අන්තර්ජාල පහසුකම් පවා අත්හිටුවා ඇති බව  විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් මේවන විට මාස දෙකක පමණ කාලයක සිට සිසුන්ගේ අධ්‍යාපනය කටයුතුවලට විවිධ බාධා එල්ලවී ඇති බවත් සූරියබණ්ඩාර මහත්මිය කීවාය.

අන්තර්ජාල පහසුකම් මාසයක් තිස්සේ අත්හිටුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන්ට දේශන පැවැත්වීමට ද නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පෞද්ගලික මුදලින් අන්තර්ජාල පහසුකම් සපයාගෙන දේශන පවත්වන බවත් සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.

මෙයට අමතරව ජලය, විදුලිය, ඇතුළු අත්‍යවශ්‍ය සේවා පහසුකම් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය මහාචාර්යරුන්ට නොලැබෙන අතර විදුලිය කැපීම හේතුවෙන් අධි ශීතකරණවල තැන්පත් කර ඇති පර්යේෂණ අවධානමකට ලක්වී ඇති බවත් මහාචාර්යවරිය පැවැසුවාය.

ඒ අනුව මෙම අවනඩුව පිළිබදව වගකිව යුතු බලධාරීන් අවධානය යොමු කළ බවත් මුනිවත රැකීම ප්‍රශ්නයට පිළිතුරක් නොවන බවත් මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.