අධිවේගී මාර්ග ටිකට් කවුළුවලට ආබාධිතයන්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධිවේගී මාර්ග වල ප්‍රවේශපත්‍ර කවුළුවල රාජකාරි සඳහා ලෝකයේ දියුණු රටවල මෙන්  ආබාධිත පිරිස්  යොදවන්නැයි  ප්‍රවාහන හා මහා මාර්ග   අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවසමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.

ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර හිතුමතේ   පාරවල් හැදීම  හේතුවෙන් ආර්ථික බංකොලොත්භාවයට පාර කැපුණු බවද  ඔහු කීවේය.

රටේ ගොඩක් පාරවල් හැදුණේ  ජනතාවගේ ප්‍රමුඛත්වයට නොව ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ ඇමතිවරුන්ගේ ප්‍රමුඛතාවයට බව පැවසූ මන්ත්‍රීවරයා  කාලයක් පාරවල් හැදුණේ  හම්බන්තොට පමණක් බවද ප්‍රකාශ කළේය.

ජයමහ මහතා මෙසේ පැවැසුවේ   ප්‍රවාහන  මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

නලින් බණ්ඩාර ජයමහ මහතා මෙසේද පැවසීය.

නගර ලස්සන කරන ව්‍යාපෘතිය රටට අවශ්‍යයි. චීනයේ  අද අලුත් නගර නිර්මාණය කරනවා. අපි බංකොලොත් රටක්. ඒක වෙනම කතන්දරයක්. නමුත් අපිට අලුත් නගර අවශ්‍යයි. හෙටට ගැලපෙන්න රට පෙළ ගස්සන්න ඕන.  කොළඹ වතුනිවාස තවමත් තියෙනවා. මේ  නිවාස ව්‍යාපෘතිවලට විදේශ ආයෝජන පාවිච්චි කරන්න පුළුවන්.

අපේ රටේ මහාමාර්ග හදන්නේ ජනතාවගේ ප්‍රමුඛතාවයට නොවෙයි.

ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ ප්‍රමුඛතාවයට. කාලයක් හම්බන්තොට පාරවල් විතරක් හැදුවා. මහාමාර්ග ඇමතිවරයා ඉන්නේ කොහෙද. එහේ පාරවල් ටික හැදෙනවා. අධිවේගී මාර්ග වල මුදල්   අයකරන කුටිවල වැඩ කිරීමට ආබාධිත අය යොදවන්න පුළුවන්. අතපය අඩු කන්  එහෙම ඇහෙන්නේ නැති  දුර්වල අය පාවිච්චි කරන්න පුළුවන්. ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. ඒ  ආබාධිත අයට එවැනි ඉඩකඩක් ලබා දෙන්න.