අධිකරණයේ ජනේලයෙන් රිංගා ගිය ‘ඉබ්බා’ අල්ලාගනී


(අශෝක තිලකරත්න)

‘ඉබ්බා’ ඉබ්බා නැමති සැකකරුවෙකු අද (17) උදේ සොරකම් කරන ලද යතුරුපැදියකින් යමින් සිටියදී දික්වැල්ල නිල්වැල්ල හන්දියේදී අත්අඩංගුවට ගත් බව  ගන්දර පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් මෙම සැකකරු වරක් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන්ගෙන් මිදී පලාගොස් සිටියදී පසුගියදා තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තංගල්ල  අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එහි ජනේලයකින්ද රිංගා   පලා ගොස් තිබුණි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු ළඟ තිබී හෙරොයින්  මිලිග්‍රෑම් 730 ක් ද සොයා ගත් බවත් මෙම සැකකරු මාතර ගන්දර තංගල්ල සහ සූරියවැව ඇතුළු පොලිස් වසම් කීපයක සිදු වූ විවිධ සොරකම්වලට සම්බන්ධ අයෙකු බවත් පොලිසිය කීය.

මෙම සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගන්දර පොලිස් නිලධාරීහු මෙම සැකකරු අත්අඩංගුවට ගත්හ.