විනීතා එම් ගමගේ
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම්වලට විරෝධතා ඉදිරිපත් කිරීමට ජාතික හෙළ උරුමය කටයුතු කරන බව එහි මහ ලේකම් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.
එම පෙත්සම් විභාග කිරීම හෙට සිදුවන බවත් එහි දී තම විරෝධතා ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා කීය.
එම සංශෝධිත පනත් කෙටුම්පත ඉක්මණින් නීතියක් බවට පත් කර රට පුරා පැතිර ඇති මහා පරිමාණ දූෂණ වංචා අපරාධවලට එරෙහිව කටයුතු කරන අධිකරණ පද්ධතිය ඉක්මණින් පිහිටුවීමට තම පක්ෂය මැදිහත්කරුවන් ලෙස පෙනීසිටින බව ද රණවක මහතා පැවැසීය.
අමාත්‍යවරයෙකු ලෙස හතරවතාවක් මෙම විශේෂ අධිකරණය පිළිබඳ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළත් අසාර්ථක වී යැයි කී රණවක මහතා මෙවර අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඉක්මණින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම පිළිබඳ ඇයට ස්තුතිවන්ත වන බව ද පැවැසීය.
අදාල පනත නීතියක් බවට පත්වූ විට ඊට අදාල අධිකරණ පිහිටුවීම, විනිසුරුවන් පත් කීරීම ඇතුළු කටයුතු සඳහා දේශපාලකයන් මැදිහත් නොවන බවත් ඒ කටයුතු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරනු ඇති බවත් හෙතෙම කියා සිටියේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජාතික හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.