අධිකරණ සංවිධාන කෙටුම්පත ඉවත දමන්නැයි නීතීඥ සංගමය ඉල්ලයි



 
තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ 
 
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ යැයි සඳහන් අධිකරණ වර්ගයක් නැති බැවින් එම   එම පනත් කෙටුම්පත මුළුමනින්ම ඉවත දැමිය යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන්වීය.
 
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහි විශේෂ පෙත්සම් 07ක් අද   ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව සඳහන් කළේය.
 
යෝජිත ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව පවසමින් මෙම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින්  සම්මත කරන ලෙස ඉල්ලා   ඒකාබද්ධ විපක්ෂයේ නායක   දිනේෂ් ගුණවර්ධන මහතා ,   ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඇතුළු හත් දෙනෙක් පෙත්සක් ගොනු කරනු ලැබ සිටිති.
 
මෙම පෙත්සමට එරෙහිව කරුණු දැක්වීමට ස  අතරමැදි පෙත්සම් 14 ක් ගොනු කර තිබේ.
 
මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ,  මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න  , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා , නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන  , මහාචාර්ය සරත් විජේසූරිය , සමන් රත්නප්‍රිය , ජයදේව උයන්ගොඩ , කේ.ඩබ්ලිව් .ජනරංජන ,ගාමිණී වියන්ගොඩ සහ ජගත් හේමචන්ද්‍ර යන මහත්වරු  එම අතරමැදි පෙත්සම්කරුවෝය.
 
මෙම පෙත්සම් සහ අතරමැදි පෙත්සම් අද අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ  සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි. 
 
 මෙම අතරමැදි පෙත්සම් වල සඳහන් වන්නේ විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීමේ විධි විධාන ඇතුළත් , අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැමූ පනත් කෙටුම්පතක් වන බවය.