අධි අනාරක්ෂිත දරුවෝ දාහත් දාහක්


 

(අංජුල මහික වීරරත්න)

අධි අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් 17,000ක් මේ වන විට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද  විජේපාල මහතා පැවසීය.

ඔවුන් ඇතුළුව සියලු මට්ටම්වල දරුවන් අධීක්ෂණය කරමින් සිටින බව කී අමාත්‍යවරයා කිසිදු දරුවෙකු අත් නොහැර සෑම දරුවෙකුගේම සමාජ සුරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බව කීය. 

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් ඇගයීමේ වයඹ පළාත් වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද (26) මෙම වැඩසටහන පැවැත්විණි.

මෙහිදී කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂ වලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසුන් 240 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.  මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24 කි.