අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරියාට විනය පියවර වෙනුවට රට සංචාරයක්


අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැවැත්වූ නායකත්ව පුහුණු පාඨමාලාවකදී විදුහල්පතිවරියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නිර්දේශ වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම විදෙස් සංචාරයකට යොමු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
 
මෙම නිලධාරියා ඇතුළු නිලධාරීන් අට දෙනකුට එරෙහිව විනය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර නිවේදනය කළේය.
 
එහෙත් ලංකා ගුරු සංගමය චෝදනා කළේ අමාත්‍යංශය විනය පියවර ගෙන ඇත්තේ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් පමණක් බවයි. චෝදනාවට ලක්වූ ඉහළ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශය විසින්ම ආරක්ෂා කරනු ලබන බවත්, ප්‍රසම්පාදන අතිරේක ලේකම්වරයාට විදෙස් පාඨමාලාවකට යෑමට අමාත්‍යංශය අවස්ථාව ලබා දී ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
 
මිය ගිය විදුහල්පතිවරියගේ මරණ සහතිකය පවා මෙතෙක් ලබා දී නැතැයි කී ස්ටාලින් මහතා විදුහල්පතිවරිය වෙනුවෙන් වන්දි මුදලක්වත් ලබා දී නැතැයි සඳහන් කළේය.
 
ප්‍රසම්පාදන අතිරේක ලේකම්වරයාට ජපානයට යෑමට අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය.