අතුරුදන් වූවන් ගැන සොයන්න පොලිස් මෘත ශරීරාගාරයට එන්න


විනීතා එම් ගමගේ
 
දිවයිනේ ස්ථාන අටක දී ඉකුත් 21 දා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධීන් ගෙන් මියගොස් තවමත් හඳුනාගෙන නැති මෘත දේහ විශාල සංඛ්‍යාවක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තවමත් තැන්පත් කර ඇතැයි කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 

මෙතෙක් අතුරුදන්ව ඇති අය පිළිබඳ සොයා බැලීම සඳහා කොළඹ 10 ප‍්‍රැන්සිස් පාරේ අංක 111 දරණ ස්ථානයේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරය වෙත පැමිණ එම මළ සිරුරු පරික්ෂා කළ හැකි යැයි කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

මේ වනවිටත් හඳුනා නොගත් දේශීය හා විදේශීය පුද්ගලයින් රැසකගේ මෘත ශරීර මේ වනවිටත් එහි ඇති බැවින් අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයන ඥාතින්ට එහි පැමිණ පරික්ෂා කරන ලෙස ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 

මේ අතර මේ වනවිටත් තොරතුරු නොමැති විදේශිකයින් පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස් මෘත ශරීරාගාරය වෙත පැමිණ පරික්ෂා කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සියලූ විදේශ තානාපති කාර්යාල වෙත පණිවිඩයක් යවා ඇතැයි වාර්තාවේ.