(ටෝනි කරුණනායක)
ශ්‍රමදානයකින් පාරක් අළුත්වැඩියා කරද්දී දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට සහ ග්‍රාමෝදය සභාපතිවරයකුට පහරදී සභාව සතු මෝටර් ගේඩරයට අලාභ කළැයි කියන සැකකාර බන්ධනාගාර නියාමකවරයාව දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (26) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුව රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා නියම කළේය.
ඇපකරුවන් දෙදෙනා ළඟම ඥාතීන් විය යුතු බවටත් ඇපකරුවන් ඥාතීන් බවට ග්‍රාම නිලධාරී මගින් තහවුරු කළ යුතු බවටත් නියම විය. දිවුලපිටිය ඉහළ මඩම්පැල්ල පදිංචිකරුවෙකු වු සිදත් දොළපිල්ල නැමැත්තාට මෙසේ ඇප නියම කෙරුණි.
ඉතුත් 22 වැනිදා එම පහරදීම සිදුකර තිබු අතර සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙස දිවුලපිටිය පොලිසියට බලකරමින් 200කට ආසන්න පිරිසක් අද (26) පෙරවරුවේ දිවුලපිටිය නගරයේ උද්ඝෝෂණයක ද නිරත විය.
නඩුව යළි අගෝස්තු 7 වැනි දා කැඳවීමට නියම කෙරිණි.