(යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය
චමරි වෛද්‍යරත්න)
අතීතයේ පටන් අද දක්වා අප අතර භාවිතා වන අත් බෙහෙත් භාවිතය අප රටට පමණක් සීමා වූවාක් නොව ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ආසියාතික රටවල් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය එංගලන්තය වැනි බටහිර රටවලට ද ඔවුන්ට ආවේණික දේශීය ප්‍රතිකාර භාවිතා කරති.
යම් රෝගයක් වැළදුණු විට වෛද්‍ය උපදෙස් පැතීම අපගේ සාමාන්‍ය පුරුද්දකි. එහෙත් රෝග ලක්ෂණ දැනුන විට එය වැඩි දියුණු වීමට පෙර අත් බෙහෙත්වලින් රෝග පාලනයවීමත් බොහෝ විට එයින්ම රෝගය සුවවීමද දක්නට ලැබේ. එම හේතුවෙන් මුදල් ඉතිරිකර ගැනීමටත් කාලය ඉතිරිකර ගැනීමටත් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ගන්නා බැවින් අතුරු ආබාධ ඇති නොවීමෙනුත් වාසි අත්වෙන සේම රෝගයේ මුල් අවස්ථාවේදීම සුළු ප්‍රතිකාරයක් මගින් සුවය ලබාගත හැකිවන අතර රෝගය වැඩිදියුණු වීමද වළක්වා ගත හැකිය.
ජාතික මට්ටමෙන් වූවද සෞඛ්‍ය සේවය වෙනුවෙන් රජයට වැයවෙන මුදලින් සෑහෙන ප්‍රමාණයක් අඩුකර ගත හැකිවෙනවා මෙන්ම ඖෂධ ආනයනයට පිටරටට ඇදී යන විදේශ විනිමය අඩුකර ගත හැකිවාත් මෙන්ම රෝහල් තදබදය ද අවම කෙරේ.
අත් බෙහෙත් පාවිච්චි කිරීම මූළික ක්‍රම දෙකකට කළ හැක.
1. අභ්‍යන්තර වශයෙන්
2. බාහිරව ආලේප ලෙස
අභ්‍යන්තර ලෙස කෂාය, ඉස්ම, යුෂ සහ තැම්බුම් ලෙස මුඛයෙන් ගන්නා බෙහෙත්ය.
බාහිර වශයෙන් පත්තු, මැල්ලූම්, තැවිලි, පොට්ටනි තෙල් ආලේප වැනි බාහාරව යෙදීමය.
අභ්‍යන්තර වශයෙන් යුෂ හෙවත් ස්වරස පානයට සකස් කරගන්නේ බොහෝ විට ශාඛවල දළු, කොල, පොතු, ගෙඩිවලින්ය. ඉගුරු හා කහ වැනි දේවලින් අල යුෂ ලබාගනී. පිරිසුදු ස්ථානයකින් එවෙලේම නෙළාගත් දලූ, කොළ හෝ මල් ආදී පංචාංගයම සෝදා වංගෙඩියක හෝ පිරිසුදු පොල්කටුවකට දමා කොටා පිරිසුදු තුනී රෙදි කඩකින් පෙරා බීමට දෙයි. යුෂ ගැනීම අපහසු වූ විට උණුවතුර ටිකක් දමා යුෂ ගන්නා අවස්ථාද ඇත. කොටා වන්ඩුවේ තම්බා මිරිකා යුෂ ගැනීම බොහෝවිට කරනුයේ විෂබීජ නසාලන අදහසින්ය. තවද යකඩයක් රත්කර එම රත්වූ යකඩය ඖෂධ යුෂට දමා රත්කර බොන අවස්ථාද අප පාරම්පරික අත්බේත් සෑදීමේදී භාවිත කරන විෂබීජ නාශක ක්රමයන්ය. තම්බා පෙරා බීමද, කැඳ වශයෙන් සකස්කර බීමද, කෝපිමෙන් කුඩුකර වක්කර බීමද අවස්ථානුකූලව සිදුකරයි.
බාහිරව යෙදීමේදී ඖෂධ වර්ග අඹරා ස්ථානිකව ආලේප කිරීම, ඖෂධ කොටා පොට්ටනි බැද වන්ඩුවේ තම්බා තැවීම කොළ පොතු කොටා මළවා බැදීම ආදිය කරනු ලබයි. එසේම දුම් ඇල්ලීමද සිදුකරනු ලබයි. විශේෂයෙන් අත්බේත් සැකසීමේදී ඖෂධ සඳහා නියමිත පැළෑටියම හඳුනාගෙන භාවිතා කිරීම වැදගත්ය. අධික ජනයා වෙසෙන තැන්වල, මහාමාර්ග අසල, සොහොන් පිටිවල හටගත් ඖෂධ ශාඛ බෙහෙත් පිණිස නොගත යුතුය. එසේම මේවා අඹරා සකස්කර ගන්නා භාජනය ද හොදින් සෝදා ජිවානුහරණය කරගැනීම මෙන්ම දෑත්ද පිරිසුදුව තබාගත ඖෂධ සැකසිය යුතුය. වඩාත්ම වැදගත් වන්නේ සුළු ආබාධයකදී මිස බරපතළ රෝග අවස්ථාවලදී අත්බේත් කර කර නිවසේ සිටීම කිසිවිටකත් නොකළ යුතුය. වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. ඒ වගේම අත්බේත් කොතරම් ගුණදායකවූවත් නොකඩවා දිගුකලක් පාවිච්චිකිරීම ද නොකළ යුතුය. ඇසට හා කනට අත්බේත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුසේම ඊට පසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.
ප්‍රතිශය උණට
ඉගුරු කොත්තමල්ලි ටිකට් ගෙන තම්බා සීනි දමා බොන්න.
සෙම ගතිය වැඩිනම්
ඉගුරු කොත්තමල්ලි, තිප්පිලි, ගම්මිරිස්, පාවට්ටා දළු තම්බා සීනි දමා බොන්න.
ප්‍රතිශ්‍යාව සමග අතපය සන්ධි වේදනාව පවතීනම්
වෙනිවැල්ගැට, හීං අරන්ත, ඉගුරු කොත්තමලිල් කටුවැල්බටු තම්බා සීනි දමා බොන්න.දේවදාර, ඉගුරු කොත්තමල්ලි, කටුවැල්බටු එළබටු මුල් තම්බා සීනිදමා බොන්න.
සිරුරේ දැවිල්ල සමග පිපාසය සහිත උණට
රසකිඳ, පත්පාඩගම්, කොත්තමල්ලි තම්බා සීනි දමා බොන්න.
මෙම බෙහෙත් උණුසුම්ව දවසට තුන් හතරවතාවක් බී ඇඳ විවේක ගැනීමෙන් හා දිරවීමට පහසු සැහැල්ලූ ආහාර ගැනීමෙන්, පැඟිරි කොලවර්ග තම්බා දුම් ඇල්ලීමෙන්ද, ඒවා පලතුරු යුෂවීමෙන්ද අතුරු උපද්‍රව වලින් තොරව විශේෂයෙන් කැස්සෙන් පීඩා ඇති නොවී ප්‍රතිශ්‍යා උණ සුවවේ.
ප්‍රතිශ්‍යා කැස්සට
පාවාට්ටා කොළ, දලූ, මල්, පොතු සහ මුල් කටුවැල්බටු වැල්මී, ඉගුරු තම්බා බොන්න.
පාවට්ටා දලූ අමු ඉගුරු කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් ඉස්මට ඇඹුල්දොඩම්, සීනි, මීපැණි දමා වරකට තේහැඳි 1x2 බැගින් ටික ටික දිව ගා ගිලින්න.
ඇඹුල් දොඩම් ඉස්ම අමු ඉගුරු ඉස්ම මීපැණි මිශ්‍රකර ටික ටික දිව ගා ගිලින්න.
උගුර බැරැණ්ඩියට
වැල්මී කැබැල්ලක් සහ යුෂ ගිලින්න.අරලූ සූකිරි මිශ්‍රකර යුෂ ගිලින්න.මද උණුසුම් වතුරට ලූණුකැට කීපයක් දමා දියකර වරින්වර උගුර සෝදන්න. වේගයෙන් කාරාදැමීම සුදුසු නොවේ. ඇඹුල් දොඩම් ඉස්ම, අමු ඉගුරු ඉස්ම මීපැණි, තල සූකිරි මිශ්‍රකර ටික ටික දිව ගා ගිලින්න.
තොල් පැලී මුඛයේ තුවාල වලට
තලතෙල් එලිගිතෙල් මීපැණි මිශ්‍රකර ගාන්න.ගොටුකොළ, කතුරුමුරුංගා මල් එළඟිතෙල් වලින් මලවා කෑමට ගන්න.සමන් පිච්ච කොල තම්බා මීපැණි දමා කට සෝදන්න.
දත් කැක්කුමට තාවකාලික වේදනා සමනයට
පෙරුම්කායන් ස්වල්පයක් කුහරයට ඇතුල් කරන්න.ලූණු සහ විනාකිරි මිශ්‍රකර කට සෝදන්න
දත්මුල් වේදනාවට
අරලූ, පිලමුල්, පුවක්මුල්, මූනමල් තම්බා සීනක්කාරම් දමා දියකර කට සෝදන්න.නිකකොළ, පොතු තම්බා කට සෝදන්න
ඇසේ නගනයට
අලූයම අවදිවී කථානොකර තුත්තිරි ගස්වල ගොබට ගලවා ඇගිලි තුඩුවලින් යුෂ මිරිකා එන දියරය නගනයේ ගාන්න.ගම්බිරිස් ඇටයක් මීපැණියෙන් ගලගා ගාන්න.කලාදුරු අලයේ මදය මීපැණියෙන් ගලගා ගාන්න.
මුත්‍රා අඩස්සියට
කුප්පමේනිය කොළ ඇල්දියෙන් අඹරා යටි බඬේ ආලේප කරන්න.
මුත්‍රා දැවිල්ලට
අලූ පුහුල් දඩු කොටා, මිරිකා යුෂබීම
අලූහම්වලට
ඇත්තෝර, පේරකොල අමුකහ දමා අඹරා ගාන්න.
ඉන්නන්ට
දියලබු කරටි ලූනු දියෙන් අඹරා ගාන්න. රතුළුනු ගෙඩියක් කපා හුනු තවරා ඉන්නාමත උලන්න.

