අඩු ආදායම්-සමෘද්ධි පවුල්වලට වෙනම ප්‍රතිශතයක්


(විනීතා එම් ගමගේ)

ජපානයට පුහුණු ශ්‍රමිකයන් යැවීමේ දී මෙරට අඩු ආදායම් පවුල් හා සමෘද්ධි පවුල්වල සාමාජිකයන්ට වෙනම ප්‍රතිශතයක් ලබා දිය යුතු යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින්ට අද (19) උපදෙස් දුන්නේය.

ජපානයේ රැකියා සඳහා යාමට අවශ්‍ය වන මුදල් නොමැතිකමෙන් අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජිකයන්ට එම අවස්ථාව අහිමි වන බවත් ආර්ථික වශයෙන් නගා සිටුවිය යුතු පවුල්වල සාමාජිකයන් සඳහා රැකියාවලින් යම් ප්‍රතිශතයක් වෙන්කර ඔවුන් යැවිය යුතු බවත් කියා සිටියේය.

මෙය රාජ්‍ය අංශයෙන් පමණක් නොව පෞද්ගලික අංශයෙන් ද සිදුකළ යුතු බව කී ඔහු ඉදිරියේ ජපානයේ රැකියා සඳහා යන්නන්ගෙන් මුදල් අයකිරීම ඉදිරියේදී නැවැත්වීමට සිදුවන බව ද පැවසීය.

රැකියා සඳහා මුදල් අයකිරීම ජාත්‍යන්තර කම්කරු සංගමයේ නීති සංග්‍රහයට පටහැනි බව එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රැකියා ලාභීන් පුහුණු කිරීම රජයෙන් කර දිය හැකි බවත් එසේ වුවද මුදල් අයකිරීමට ඉඩ නැතිවනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ජපන් රැකියා සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන් සමග කළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අයි එම් ජැපෑන් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සාමාන්‍යධිකාරි හිතෝකා කවහාරා මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ වැඩි පිරිසකට රැකියා දීමට  ජපානය සූදානම් බැවින් ඒ සඳහා එරට රැකියා ඉල්ලුමට සරිලන පුහුණු වීම් ලබා දී භාෂා නිපුණත්වය ඇති කළ යුතු බවයි.